Kadawara Yahana -  කතරගම දෙවියෝ

 කතරගම දෙවියෝ

අපේ දෙවිවරු අතර සිටින ඔද, තෙද, බල පරාක්‍රමයෙන් යුතු ජනප්‍රියම දෙවියන් විදිහට කතරගම දෙවියන් හඳුන්වන්නට පුළුවන්. ලංකාව ගැන පොතක්‌ ලියූ ඉංග්‍රීසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ විස්‌තර කරන්නෙත් ඉතාම දුෂ්කර ගැමි ප්‍රදේශයක්‌ වන කතරගම කන්දේ වැඩ වාසය කරන බලසම්පන්න දෙවි කෙනෙක්‌ ගැන ලංකාවේ සිංහල දෙමළ වගේ ජනතාව තදින්ම විශ්වාස කළ බවයි. සිංහලේ සතුරන්ගෙන් රැකගන්නට මේ දෙවියන්ගේ පිහිටාධාර ලැබෙන බවත් ඔහු සඳහන් කර තිබුණා. විෂ්ණු දෙවියන්ට ලංකාව බාර කරලා තිබුණත් අපේ රටේ රජවරුන් පවා පිහිට ආධාර ඉල්ලා ගෙන ගියේ කතරගම දෙවියන් ළඟටයි කියලා විශ්වාසයක්‌ තියෙනවා.

කතරගම දෙවියන්ගේ උපත ගැන කියන සමහර ජනප්‍රවාදවලින් නම් පේන්නේ මෙම දෙවියන්ට දකුණු ඉන්දියානු සම්බන්ධයකුත් තියෙන බවයි. මහනුවර හිටිය දෙවන රාජසිංහ රඡ්ජුරුවන් දකුණු ඉන්දියාවෙනුත් බිසෝවරුන් මේ රටට ගෙන්වා ගත්තලු. ඒ නිසා වඩිග නමින් හඳුන්වන පිරිසක්‌ මේ රටට ඇවිල්ල තියෙනවා. එදා මහනුවර තිබුණු කතරගම දේවාලයේ භාරකාරත්වය ලැබිලා තියෙන්නෙත් මේ වඩිගයන්ට. ඒ වුණාට රුහුණු කතරගම දේවාලෙ කපු මහත්තුරු වුණේ සිංහලයෝ. අපට හමුවූ පැරණිම සෙල් ලිපියක තියෙන්නෙත් කතරගම වෙනුවට කජරගම කියලයි. මහාවංශෙත් කාබරගම කියලා තියෙනවා.

සිංහල ධාතුවංශය කියන පැරැණිම පොතේත් කදරගම කියලා නමක්‌ තියෙනවා. කතරගම ප්‍රසිද්ධ ගඟ තමා මැණික්‌ ගඟ. මේ ගඟටත් කපි කන්දූර්, කප් කඳුරු වගේම කප්පකන්දර කියලත් සමහරු කිව්වලු. ඒ හින්දා මේ නම් ඔක්‌කොම යොදා ගත්තු දෙවියන්ගේ බිම කතරගම විදිහට ප්‍රසිද්ධ වුණු බව ඉතිහාසඥයොත් කියනවා. සිංහල බෞද්ධයන් අතර හින්දු ඇදහිලි විශ්වාස පැල පැදියම්වීම ක්‍රමයෙන් සිද්ධ වෙන්ට ඇති බව සමාජ විද්‍යාඥයොත් කියනවනෙ. මුල් කාලවල හින්දු කෝවිල්වලට අපේ රජවරුන් අනුග්‍රහය දැක්‌වූ බවත් කියනවා. විෂ්ණු කාර්තික, පත්තිනි වගේ දෙවිවරුන් ඒකට සාක්‌ෂි විදිහට පෙන්වන්නෙ.

කොහොම වුණත් හින්දු දෙවියන්ට බෞද්ධ මුහුණුවරක්‌ දීල පුද පූජා කළ බව නම් ඉතාම පැහැදිලියි. හින්දු දේව කතා සිංහලයන් අතර ජනප්‍රිය වෙලත් තියෙනවා. කතරගම දෙවියන් කියන්නේ හින්දු ජනතාවගේ කඳ කුමරුට බව විශ්වාස කරන අයත් ඉන්නවා. එහෙම වුණාට කතරගම දෙවියන්ගේ භාර්යාව සිංහල වීමත් පානම්පත්තුවේ ගැමි ජනතාවගේ පූජාවට ඒ දෙවියන් පාත්‍රව ඉන්න හින්දා කතරගම දෙවියෝ අපේම දෙවි කෙනෙක්‌ බවට ලොකු විශ්වාසයකුත් තියෙනවා.

කතරගම දෙවියන් පිළිබඳව මේ විදිහට එක එක විශ්වාස තිබුණත් අද වෙන කොට කතරගමට එන බැතිමතුන් අතර සිංහල, දෙමළ, මුස්‌ලිම් වගේ විවිධ ජනවර්ගවලට විවිධ ආගම්වලට අයිති පිරිස්‌ ඉන්න බව නම් කාටවත් ප්‍රතික්‌ෂේප කරන්න බෑ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අංකුර අටෙන් එකක්‌ කතරගම ක්‍ෂත්‍රියන්ටත් හිමි වුණාය කියලත් ඉතිහාසයේ එනවා. කතරගම දේවාල භුමියේ බෞද්ධ චාරිත්‍රත් තියෙනවා. ඒ පිරිත් දේශනාවයි. කතරගම දේවාලය පහු කර ගෙන තමා කිරි වෙහෙර වඳින්නට යන්නේ. මුල් කාලවල කිරිවෙහෙර වැඳගෙන පස්‌සේ දේවාල බිමට ඇවිල්ලත් තියෙනවා. පිරිත් කටයුතු බාර වෙලා තිබුණේ කිරි වෙහෙර රජමහා විහාරයටයි. එහි වැඩ විසූ හාමුදුරුවන්ට වෙන්වූ "පිරිත් නිලේ කුඹුර" කියලා වී අමුණු ගණනාවකුත් වෙන්වී තිබුණල.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කතරගම දෙවියන්ට මුහුණු හයකුයි අත් දොළහකුයි තිබෙන බව ප්‍රසිද්ධයිනෙ. ඒ වගේම මොණර වාහනය මත වැඩ සිටින කතරගම දෙවියන්ගේ තේජවන්ත විලාසය ගැනත් කවුරුත් දන්නවා. මේ මූණු හයෙන් පුද්ගලයන් හයක්‌ සංකේත කරන බවත් සමහරු කියනවා. මේ මයුර කියන පදය මුරුන්ච යන සංස්‌කෘත භාෂාවෙන් බිඳුණු එකක්‌ බවත් කියනවා. මුරුන්ඩ කියල රාජවංශයකුත් තිබුණලු. එහෙනම් කතරගම දස බෑ රජුන්ගේ වංශය මුරුන්ඩ වංශය වෙන්ටත් පුළුවන්. මේ දස බෑ රජ පරපුර දුටුගැමුණු රජුටත් සම්බන්ධ බවට තවත් විශ්වාසයක්‌ තිබෙනවා.

දුටුගැමුණු රජතුමා දවසක්‌ සිල් සමාදන් වෙලා දිව්රුම්ගල උඩ භාවනා කර කර ඉන්න කොට දන්නේම නැතුව නින්ද ගිහිල්ලා. නින්දේදි රජතුමාට හීනයක්‌ පෙනිලා තියෙනවා. ඔන්න එකපාරටම තමන්ගේ ඉස්‌සරහට මොණරකුගෙ පිට උඩ නැගපු තේජවන්ත කෙනෙක්‌ ආවලු. ඇවිල්ලා රඡ්ජුරුවොත් එක්‌ක කතාවට වැටුණලු. මේ කියන කාලෙ දුටුගැමුණු රජතුමා ලංකාව එක්‌ සේසත් කරන්නෙ කොහොමද කිය කියා හිත හිත උන්නලු. මේ තේජවන්ත අමුත්තා රජතුමාට කිව්වලු "බයනැතුව එළාරත් සමග සටනට යන්ට. ඒ හැම වෙලාවෙදීම රජතුමාට පිහිට වෙනවය කියලා. දුටුගැමුණු රජු එවෙලේම ඒ අමුත්තට පොරොන්දු වුණාලු ඒ සටන දිනුවොත් දේවාලයක්‌ කරනව කියලා. ඔන්න ඊට පස්‌සේ මේ ඓතිහාසික සටන ජය අරගෙන තමන්ගේ පොරොන්දුව විදිහට ඒ දේවාලය හදපු බව තමයි කටින් කට එන්නෙ.

ජනප්‍රවාදවල එන සමහර දේවල් ඉතිහාසයත් එක්‌ක ගැටෙන වෙලාවලුත් තියෙනවා. අපේ මහාවංශයේ මේ සිද්ධිය නැහැ. දුටුගැමුණු රජතුමාගෙ හැම සිදුවීමක්‌ම මහාවංශයට ඇතුල් විය යුතුය කියලා හිතන අයත් ඉන්නවනෙ. ඒ මොනව වුණත් අපට පේන විදිහට නම් කතරගම දෙවියන් සතු විශාල බලයක්‌, ආනුභාවයක්‌ තියෙනවා. නිකාය සංග්‍රහයේ එන විදිහට කතරගම දෙවියන්ගෙ නම හතරවරම් දෙවියන්ගේ නාමාවලියටත් දාල තියෙනවා. අපේ සංදේශ කාව්‍යවලත් කතරගම දෙවියන් ගැන සඳහන් වෙනවා.

මේ රටේ හිටපු හියු නෙවිල් කියන සිවිල් නිලධාරියෙක්‌ අපේ දෙවිවරුන් පිළිබඳ තිබුණු කවි එකතු කරලා තියෙනවා. ඒකෙ කීප තැනකම කතරගම දෙවියන් සම්බන්ධ සිදුවීම් හම්බු වෙනවා.

මේ එයින් එක කවියක්‌.

යන්ඩ මුහුදු වෙරළ බලා කඳ කුමරිඳු වැඩම වන්ඩ

ගන්ඩ කනක රුවන් අඹා එරන් පුවක්‌ මල දරන්ඩ

යකඩ දොළොස්‌ අහසින් තැනු පන්දම සුරතට දරන්ඩ

කඳ කුමරිඳු කැටුව මෙලෙස රත්න මෙකඩ වර වඩින්ඩ

කතරගම දෙවියන් හා සම්බන්ධ වල්ලි අම්මා කුවේණියගේ සහෝදරියක්‌ බව ආදිවාසීන්ගේ විශ්වාසයයි. සෙල්ලකතරගම වල්ලි ගුහාව කියලා තැනකුත් තියෙනවා. කඳ කුමාරයා ලංකාවට ආවේ මේ වල්ලි අම්මා හොයා ගෙනලු. ඇයව සරණපාවා ගත්තට පස්‌සේ කතරගම දෙවියන්ගේ ආනුභාවයෙන් ඇයත් දේවතාවියක්‌ වුණාලු. කතරගම ඇසළ පෙරහැර පවත්වන කොට කතරගම දෙවියන්ගේ ආභරණ කරඬුවේ සඟවාගෙන එන කපුරාළ ඒවා ඇතිරිල්ලකින් වහනවා. ඊට පස්‌සේ ඒවා දේවාලේ ඇතුළෙ තැන්පත් කරලත් තියනවා. පෙරහැර අවසානෙදි දේවාභරණ වල්ලි අම්මා දේවාලයේ තැන්පත් කරනවා. පහුවදාට ප්‍රතිමාව ආපහු වඩමවල පාන්දර දිය කපලා ඉවර වෙලා වල්ලි අම්මා දේවාලයට ගිහිල්ල ඒ ජලයත් ජනතාවට බෙදලා දෙනවා.

කතරගම දේවාල බිමේ තියෙන කොළ පන්දලම මුලින්ම හදලා තියෙන්නෙත් දුටුගැමුණු රජතුමාලු. ඒක හදන්ට කියලා තියෙන්නෙත් හීනෙන් දැකපු දෙවියන්මලු. අවුරුදු පතාම මේ කොළ පන්දලම අලුත් කරනවා. මෙතෙනදී අර ගන්නේ කිරි සහිත අතු වර්ගයි. කතරගම දේවාලෙ සිදු කරන චාරිත්‍රයක්‌ තමයි මුළුතැන් බෑම කියන පූජාව. මේක රජ කාලෙ ඉඳන්ම කෙරෙන කටයුත්තක්‌. දෙවියන් සඳහා ආහාර සැපයීම මෙයින් සංකේතවත් වෙන්නේ. මේ ආහාරයෙන් මුල් කොටස කිරි වෙහෙරට ගෙනියනවා.

කතරගමත් අලුත් සහල් මංගල්ලයක්‌ පවත්වනවා. ඒක හරියටම අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කරන පූජාව වගේමයි. අද කතරගම විශේෂම පූජාව තමයි ඇසළ පෙරහැර. මේ පෙරහැර වසර දහස්‌ ගණනක්‌ පැරැණි එකක්‌. අද මේ පෙරහැරට විවිධ ඇදහිලිත් එකතු වෙලා. ගිනි පෑගීම, කාවඩි නැටීම වගේම සිරුර විදලා කොකුවලින් එල්ලිලා කතරගම දෙවියන්ට තමන්ගෙ භක්‌තිය පෙන්වන අයත් ඉන්නවා. මේ විදිහට කාවඩි නටන, ගිනිපාගන බැතිමතුන් අතර වැඩිපුරම ඉන්නේ දෙමළ හින්දු ජනයා. සමහරු උතුරේ හා නැගෙනහිර ඉඳලා පයින්ම කතරගමටත් එනවා.

දෙමළ නාගසලම් සංගීතය කතරගම පෙරහැරේ තවත් අංගයක්‌. මේ සංගීතය ඉන්දියානු ලක්‍ෂණවලින් පිරී තිබෙන්නේ. ඒ රිද්මයට පා තබල නටන්නෙත් තමන්ගේ භක්‌තිය පෙන්වන්ට. පිරිමි වගේම කාන්තාවනුත් ඒවාට එකතු වෙනවා. මේවා නම් හින්දු ආභාසය අනුව වුණු දේවල් බව හිතන්ට පුළුවන්. සිංහල බෞද්ධයන් කතරගම දෙවියන් විදිහට සලකන ඒ දෙවියන් දෙමළ ජනයාට මුරුගන් නැත්නම් කන්දසාමි වෙනවා. සුභ්‍රමන්‍ය හා ශරවනභව යන සංස්‌කෘත නමින් හැඳින්වෙන්නෙත් මේ කතරගම දෙවියන්මනෙ.

කතරගම දෙවියන්ට පුද පූජා පවත්වල වරම් ලබා ගන්ට තමයි කව්රුත් කතරගමට යන්නේ. පුද පඬුරු, මල් හා පලතුරු වට්‌ටි පූජා කරලා බාර හාර ඔප්පු කරන බැතිමතුන්ගෙන් කතරගම පිරිලා තියෙනවා. කතරගම දෙවියන්ගෙන් වරම් ලබා ගත්තු දෙවිවරුනුත් ඉන්නවා. කතරගම දෙවියන්ට කහදිය වඩවල වරම් ලබා ගත්තු හැටි නාමල් කුමාර කවිවල සඳහන් වෙනවා. මේ කවියෙන් කියන්නෙත් ඒකයි.

කතරගමට පරහඳ වඩ මාලා

කතරගමින් තෙද වරම් ලබාලා

මුදුන්මලට පරහඳ දක්‌වාලා

මුදුන්මලින් කරුණාව ලැබීලා

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට අධිපති ප්‍රධානම දෙවිවරුන් ලෙස විෂ්ණු හා කතරගම දෙවිවරුන් හඳුන්වන්ට පුළුවන්. කතරගමට මෙයිනුත් සුවිශේෂත්වයක්‌ හිමිවෙනවා. ලංකාව ආක්‍රමණය කළ කිසිම විදේශීය බලවේගයකට රුහුණ යටත් කරගන්නට බැරි වුණේ කතරගම දෙවියන්ගෙ බලය නිසා බව විශ්වාස කරනවා.

කතරගම දෙවියන්ට පූජා පිණිස යන විවිධ බැතිමතුන් තමන්ගෙ ලෞකික යස ඉසුරු වර්ධනය කර ගැනීමේ අපේක්‍ෂාවෙන් තමයි දේවාලයට යන්නේ. ඉඩකඩම් ගැටලු ව්‍යාපාරික අවුල් වාහන මිලදී ගැනීම් යනාදී හැම කටයුත්තකදීම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම අද චාරිත්‍රයක්‌ වෙලා. තමන්ට එරෙහිව තිබෙන සතුරු බලවේග බිඳ දාන්ටත් කතරගම දෙවියන්ට පුළුවන් බවයි බැතිමතුන්ගේ විශ්වාසය. එනිසා කතරගම කියන්නේ බෞද්ධ, හින්දු ඉස්‌ලාම් වගේ හැම ආගමකටම අයිති ජනතාවගේ පුද බිමක්‌. කතරගමට පේවිලා ගිහිල්ලා දෙවියන්ට පහන් දල්වල පූජා වට්‌ටි තියලා හිතේ තියෙන අරමුණු අපේක්‍ෂා ඉෂ්ට සිද්ධ කර ගන්ට තමා මේ පූජා භූමියට යන්නෙම.

ජීවිතය කියන්නේ එක විදිහක ප්‍රශ්න පත්‍රයක්‌. ඒකට තනියෙන්ම මුහුණ දෙන්ට අමාරු නිසා මේ විදිහට දෙවියන්ට කන්නලව් කිරීමට මේ රටේ ජන කොටස්‌ පුරුදු වී සිටි බවත් එය අද වන විට වඩාත් පැතිරී ගොස්‌ තිබෙන බවත් සමාජ විද්‍යාඥයනුත් කියනවා. මේ අතර දෙවියන් ගැන ඒ තරම් විශ්වාසයක්‌ නැති අයත් ඉන්නවා. ග්‍රහ අපල, සතුරු පීඩා, අණවිණ හදි හූනියම් වගේ දේවල්වලට මුහුණ දෙන්නටත්, දියුණුව සොයා යන ගමනට පිහිටක්‌, ආශිර්වාදයක්‌ ලබා ගන්නටත් දෙවියන්ගෙන් පිහිට පැතීම වැරදියි කියලා කියන්ටත් බෑ.

දෙවියන් වෙනුවෙන් විශේෂයෙන් හදන කවි වගයකුත් තියෙනවා. ඒවාට කියන්නේ සෙත් කවි. සෙත් කවි වගේම වස්‌කවිත් තියෙනවනෙ. කතරගම දෙවියන්ට වගේම විෂ්ණු දෙවියන්ටත් ඒ විදිහට හදන කවි ගායනා කරනවා. ඒ කවිවලින් වැඩිපුරම කියවෙන්නේ. දෙවියන්ගෙ බල පරාක්‍රමය ගැනයි. මාත්‍රා පිහිටුවල ගණ පිහිටුවල සෙත්කවි හා වස්‌කවි හැදීමත් වෙනම කලාවක්‌. ඒවා ප්‍රබන්ධ කරලා දෙවියන් ඉදිරිපිට වරු කීපයක්‌, එහෙම නැත්නම් දින කීපයක්‌ ගායනා කරලයි ආශිර්වාද ලබා ගන්නෙ. නරක කාලෙට එන අපල උපද්‍රව, ග්‍රහදොaෂ දුරු කරලා ජීවිත වාසනාවන්ත කරන්ට පුළුවන් අධි බලයක්‌ කතරගම දෙවියන්ට තිබෙන බව බැතිමතුන් විශ්වාස කරනවා.

කඳකුමරු සිරිත කියලා පොතකුත් තියෙනවා. රුහුණේ කතරගම මුළු නගරයම අයිති වෙන විදිහට සීමා බන්ධන පනවල බුද්ධ ආඥවක්‌ නිකුත් කරලා තිබුණ බවත් ඉතිහාසයේ එනවා. කොහොමහරි ඒ සිරිත් විරිත් එදා ඉඳලා දිගටම සිදු වෙලා. අදටත් සිදුවෙන බව කියන්නට ඕනෑ. කතරගම තේවාව කෝවිලක තේවාවට වඩා වෙනස්‌ වෙන්නේ ඒ බෞද්ධ පසුබිම නිසායි.

කතරගම දේවාලයෙ රාජකාරිය ගැන පුරාණ ලියවිලිවලත් තියෙනවා. පනහකට වැඩි නිල මඬුල්ලක්‌ ඊට අයත් බවත් කියනවා. පිරිත් නිලයෙ ඉඳලා ආලත්ති අම්මල, බස්‌නායකලා, විදානෙල ඊට ඇතුළත්. මහා දේවාලෙ රාජකාරියට කියන්නේ ගෙවැදීම කියලා. මේ ගෙවැදීමේදී හාමුදුරුවරු පිරිත් කියනවා. නැකැත් රාළ තමයි නැකැත් හදන්නෙ. බස්‌නායක නිලමේ තමා මේ සියලුම කටයුතුවල ප්‍රධානියා.

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන නානුමුරය නැත්නම් නෑවීම කතරගම තියෙන ඵලරුක බෝධීන් වහන්සේටත් කරන පූජාවක්‌. මැණික්‌ ගඟේ වතුර අරගෙන ඒකට සුවඳ වර්ග වගේම කිරිත් එකතු කරලා හේවිසි, බෙර වාදනය කරමින් මුඛවාඩම් බැඳගත්තු කපුමහත්තයා ඇතුළු පිරිස තමයි මේ පූජාව කරන්නේ.

කතරගම හිටිය දස බෑ රජවරුන් විනාශ කරලා තියෙන්නේ ගෝඨාභය රජතුමානෙ. ඒ වුණාට රුහුණේ ජනතාව ඒ පරපුරට හරිම ගෞරවයක්‌ දක්‌වලා තියෙනවා. දකුණේ ජනවහරේ එන හත්වලාමෙ, හත් දෙයියනේ කියනා යෙදුම් මේ දසබෑ රජුන් විනාශ කරපු වෙලාවේ රුහුණු ජනයාගේ කටින් පිට වුණ බවත් ජනප්‍රවාදවල එනවා. දෙයියන්ගෙ රටේ කන්ද කදිර දේව රාජ අනුහස අදත් ඒ විදිහටම තියෙනවා.

රුහුණුපුර කතරගම දෙවි විමනට අධිපති රණ මයුර වාහන රූඪව, රත්තෙපල පුෂ්පයන්ට නිගා දෙන මුහුණු සයකින් යුත් නිල සමූහයකට නිගා දෙන නෙත් දොළසකින්ද අත් දොළසෙහි දරා සිටින විචිත්‍ර චිත්‍ර නානා විධ ආයුධ දොළසකින් ඇසළ පෙරහැර මංගල්ලයට, නානු මංගල්ලයට කාර්තික උත්සවයට යහතින් දිවැස්‌ කරුණා බල වදාරමින් කියන යාතිකාවෙදි අපට තහවුරු වෙන්නෙත් ඒ දේව ආනුභාවය. එබඳු දෙවි කෙනෙක්‌ අපට තවත් නෑ කියලා බැතිමතුන් කියන්නෙත් මේ කරුණු හින්දමයි. මේ නිසාම තමයි සිංහල ජනවහරේ දැනගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා කියමනක්‌ තියෙන්නෙත්. අධිෂ්ඨානයෙන් වගේම වීර්යයෙන් යුක්‌තව එදා දුෂ්කර මාර්ගයක්‌ ගෙවමින් කතරගමට ගිය අපේ ජනතාවගේ ඉටු දෙවියෙකු ලෙස කතරගම දෙවියන් හඳුන්වන්ට පුළුවන්. ඒ වගේම කතරගම දෙවියන්ටත් මේ රටයි බුද්ධ ශාසනයි රැකීම බාර වෙලා තියෙන බවත් කියනවා. ජයසිරි බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් අනුරාධපුරේ වන්දනාවේ යන, සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණා කරන සිංහල බෞද්ධයොත් කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් කතරගම වන්දනාවේ යනවා.